Friday, July 4, 2014

මෙත් බෝසත් අට අවතාර

ඕං මෛත්‍රිය බෝධිසත්වාය නමහං

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ස්වරූප අටකින් මනු ලොවට වඩින බව මහායානිකයන් හා සංස්කෘත ශ්ලෝක වල පවතී. ඒ ස්වරූප අට දක්වන්නේ මෙසේය.


රජකුමරෙක් තාපසයෙක් පැවිදි වෙසින්           එන්නේ
මහල්ලෙකුගේ ළදරුවෙකුගේ වෙස් අරගෙන  එන්නේ
දෙව්කුමරෙක්,යාචකයෙක් ලෙස සැරසී           එන්නේ
විරුවෙකු ලෙස මෙත් බෝසත් අට අවතාර      එන්නේ

(1)රජ කුමාරයෙක්
(2)තාපසයෙක්
(3)පැවිදි ස්වරූපයෙන්/භික්ශුවක් ලෙස
(4)මහල්ලෙක්
(5)ළදරුවෙක්
(6)දෙව් කුමාරයෙක්/දේව ස්වරූපය
(7)යාචකයෙක්
(8)වීරයෙක්.

මෙලෙස අවතාර අටකින් දක්වන්නේ අප එදිනෙදා ජීවිතයේදී හමුවන විශේශ චරිත අටකි. අපගේ උපකාරය අවශ්‍ය පුද්ගලයන්ද ඒ අතර වෙයි. මෙහි සත්‍යතාව කෙසේ වෙතත් මෙමගින් දෙන පනිවිඩය බොහෝ සේ වටින්නේය. එනම් එදිනෙදා ජීවිතයේදී අපගේ අවධානය යොමු නොවන ඇතැම් විශේශ චරිත හා ඔවුන්ට අපගේ උපකාරය ලබාදීමට අප පෙලබවීමක් මෙහිදී සිදුවේ. කෙසේ වෙතත් මනුලොව සත්පුරුශ පුද්ගලයන්ට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ආශිර්වාද කරන බවනම් සක්සුදක් සේ පැහැදිලිය. ඔවුන්ට පිහිට වීමට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මේ ස්වරූප වලින් පැමිනිය හැක. ඇතැම් විට එය අප එතරම් සැලකිල්ලට නොදැක්වුවද, අදාල සිදු වීමෙන් පසු ඒ පැමිනි පුදගලයන් ගැන නැවත නැවත සිතා බලන්නට සිදු වන අවස්ථා එලබීමට හෝ දැනටමත් එසේ සිදුවී තිබීමට පුලුවන.

සෞභාග්‍ය උදාකරන බෝධිසත්වයන් වහන්සේ ලෙස බොහෝ දෙනෙකු පිලිගන්නා මෛත්‍රී බෝධිසත්වයන්වහන්සේගේ මෙම අවතාර අට ඇසුරු කරගෙන චායාරූපයක් නිර්මානය වී ඇත. මෙම චායාරූපයේ දැක්වෙන්නේ එම ස්වරූප අටය. මෛත්‍රී බොධිසත්වයන් වහන්සේගේ බලය, පරාක්‍රමය, දයාව,අනුකම්පාව,ප්‍රක්ඣාව පෙන්වීමට මෙම පින්තූරය නිර්මානකරුවා දක්ශ වී ඇත. දේවා ආභරන ලෙස ගන්නා පලිහ,දුන්න,ඊතල,ධජ,චක්‍රායුධය වැනි සංකේත වලින් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ අයුක්තියට,අසාධාරනයට,අසත්‍යට එරෙහිව සටන් කරන බව පෙන්වීමට උත්සහ ගෙන ඇත. එසේම ධර්ම චක්‍රයක් නිරූපනයෙන් ධර්මය ද, නව ගුණ මාලයෙක් සිහිය පවත්වා ගැනීම හා ධ්‍යානයන් පිලිබදවද නිරූපනය කිරීමට කටයුතු කර ඇත. චක්‍ර(කුණ්ඩලීනී ශක්තිය) අවධි කිරීම හෙවත් සිත දියුනු කිරීම් පෙන්වීමට නාග සලකුන යොදාගන්නා බව සැවොම දන්නා කරුනකි.

මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේගේ ගුණ මහිමය රූපයකින් කැටි කර පෙන්වීමට නොහැකි උවත් ජනයාගේ දැන ගැනීම පිනිස මෙසේ චායාරූපයක් මගින් සාධාරණී කරනය කර ඇත. මේ පින්තූරය බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ ඇති අතර මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පිලිබද වැඩිදුර දැන ගැනීම සදහා සමන්ත්‍රබද්‍ර හිමි රචිත "මෙත් බුදුසිරිත" ග්‍රන්ථය පරිශීලනය කල හැක.

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටිය යුත්තේ පින්තූරයක හෝ දේව මන්දිරයක නොව තමන්ගේ පාරිශුද්ධ වූ සිත තුලය.

සිත පාරිශුද්ධ කල ගත්විට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඔබේ හදවතට වැඩම කරනු ඇත.